“ප්‍රතිභාව“ යැයි යමක් වේ.එය පුර්ව සවාසනා බලයෙකැයි පුරාණ මුනි උතුමෝ කීහ.එසේ නොවන බවට ද මත වෙති.
ඒ ප්‍රතිභා තොමෝ මනුෂ්‍ය නිර්මාණශීලිත්වයේ පරම උල්පත ද වන්නේ ය.තවද, ඒ ප්‍රතිභාව සතතාභ්‍යාස කිරීමෙන් ලත් පරිචය හෙවත් ව්‍යුත්පත්තියෙන් සුපෝෂිත ව සුරැකෙයි. නිර්මාණශීලිත්වය සතතාභ්‍යාසයෙන් හෙවත් මනුෂ්‍ය බුද්ධි නිශ්පාදන පරිභෝජනයෙන් පෝෂණය වන්නා සේ ම,ඉන් ලබන වර්ධනය පෙරලා මානව බුද්ධීයේ නව වර්ධනයන්ට හේතූ වෙයි.මේ අපෝහකය මනුෂ්‍ය නිර්මාණශීලිත්වයේ ප්‍රවර්ථන නියාමයයි.
අත්පත් කරගත් දැනුම සහ පුහුණුව නැමති ගිනිගලේ නොගෑවී ප්‍රතිභාව මුවහත් වේඳ? මනුෂය අත්දැකීම් අනුව නම් පිළිතුර “නැත“ යන්නයි.
එහෙත්, සුවිශේෂී පෞර්ෂයෝ ඉතිහාසය විසින් දායාද කොට ඇත්තාහ.
එච්.ආර්.ජෝතිපාල වනාහී එවැනි සුවිශේෂයකි.
සිය හඬ හින්දි ගීතයෙන් ලද ස්වප්න ආශ්වාදයෙන් ජීවන විජිශාව කරගත් හෙතෙම, පරාජය නොකළහැකි සෙන්පතියකු සේ සිය සිහිනයේ එල්ඹ කැපව, ඒ සිහින සාක්ෂාත් කරගත්තෙකි.
භාරතීය හින්දි සිනමාවේ මෙන් වර්ධනයන් අත්පත් කරගැනීමට තරම් බල සහිත සංස්කෘතික පරිසරයක් හෝ ධෙර්යය සම්පන්න ආර්ථික ක්‍රියාදාමයක් නොවූ ශ්‍රි ලංකාවේ ,ඌන ධනවාදයේ නැමති කුස ගේ කැවුම් මුහුණ ට මහරු මිණක් වූයේ මේ හඬයි.
“පීචං ගායක“ යැ යි හණ ගන්වා ඔහු පීඩිත පංතියේ ගායකයා බවට පින්තාරූ කොට තබන ලද්දේ ම ඒ නිසාය.
තවද ඇන්ජලින් ගුණතිලක සුජාතා අත්තනායක ලතා වල්පොල වැනි ශික්ෂිත හඬ මුසු කිරීමෙන් ඒ හඬේ වූ අඩු පාඩු වසා දමන ලදි.විශේෂයෙන්ම අලංකාර ගායනයේ දී ඔහු ගේ වූ අඩුව නියතව මකන ලද්දී මේ ගායිකා තුන්කට්ටුව විසිනි.
ජෝතිපාලගේ හඩ විසින් තනන ලද නිෂ්පාදියන්ට ඒ කේෂත්‍රෙය් විශාලතම “වෙළද පළ“ හිමි විය.එහෙයින් ඔහු “ජනප්‍රියම“ විය.
ජෝතිපාල ගයන ලද්දේ අනන්‍යතාව හිස් වූ බොල් සමාජයකට නොවේ.ඔහුට අමරදේව වන්නට ඕනෑ කමක් නොතිබුණා සේම,මිල්ටන් මල්ලවආරච්චිට හෝ වෙනෙකුට ජෝතිපාල වන්නට උවමනාවක් නොතිබුණි.රූකාන්ත ගුණතිලකගෙන් අවසන් වූ මේ මහා සම්ප්‍රදාය නිසාම ජෝතිපාලයෝ “ලකුණ“ ක් සහිත ගායකයකු විය.
ඔහු ප්‍රතිභාන්විතය.එහෙත් විධිමත් පුහුණුව හෝ අභ්‍යාසය රහිත ව ම ඔහු සාර්ථක වූ බව පිළිගත යුතුය.ඒ ඔහුගේ පුද්ගල කැපවීමේ මෙන් ම ,ඓහාසික සමාජ අවශ්‍යතාවක් ද විය.
“ප්‍රතිභාන්විත නිර්මාණකරුවා අතින් සිදුවන දූෂණයත් භූෂණයක්ම වන්නේ ය“ යන පුරාණ ඉසි වදන එච්.ආර්.ජෝතිපාලයන් සම්බන්ධයෙන් වඩාත් සත්‍යය වන්නේය.
© ගාමිණී ඒකනායක

No comments:
Post a Comment