Tuesday, April 14, 2015
---- මම සඟ සරණ යමි---
අති පූජ්‍ය සද්ධර්මකීර්ති,අග්ග මහා පණ්ඩිත,උඩුගම ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිතාභිධාන අස්ගිරි පාර්ශ්වයේ මහානායක මාහිමි පානන් ගේ ශ්‍රී දේහය දකින කල්හී මට මහත් ආවේගයක් උපන. ඒ උන්වහන්සේ භව තණ්හාව අතැර ශ්‍රී නාමය ලක්දිව් නැබිඹර ළෙලවා කුණු කය කමටහන් පිණිස තබා ගිය හෙයින් නොවේ.එයින් උපනි නම් “මේ සා මහත් පුරුෂෝත්තමයෝ පවා අනිත්‍ය නම් ලෝක ධර්මතාවට යටත්ය” යන ධර්ම සංවේගයයි.
උන්වහන්සේ අපවත්වූවෝ, ඉමහත් යථ විශ්ඨෝට විප්‍රකාර කලි යුගයකය. ඉන් සමාජය ගලවනු තබා ශාසනයට ආවරණයක් සකසා ගන්නට ඇවැසි කතිකාවත සම්පාදනය කරන්නටවත් උන්වහන්සේට නොහැකි විය. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වැනි තිරශ්චීන විද්‍යා හිස් මුදුන් තබාගෙන බෞද්ධකමට ඉමහත් නිග්‍රහ කළ චීවරධාරීන්, පිටිදූවේ සිරිධම්ම, උඩුවේ ධම්මාලෝක,ගලගොඩ අත්තේ ඥානසාර වැනි භික්ෂු ප්‍රතිරූපකයන්, හා අසපු වාසී ධර්ම වෙළෙන්දන් ශාසනය වනසනු මහානායක හිමියෝ බලා ඉන්නට ඇත්තේ පිපිරුණු හදවතිනි.
1977 අති දැවැන්ත ආර්ථීක සුනාමියත්, තිස් වසරක් ඒ පසු පස ගාටමින් ආ සමාජ,දේශපාලන, ආගමික සංස්ථා කුණුව ඕජස් ගලන්නට පටන් ගත් 90 දශකයේ ය උන්වහන්සේ මහ පදවිය භාරගත්තේ. එමතු නොව සම්ප්‍රදාය පරිණාමය වෙනවා වෙනුවට විනාශ වී යාමට නියමිත බැවින් එය අයිස් කොට තබා රැක ගැනීමට වෙර දැරූ බැව් පෙනී යයි. එය කෙතරම් බලවත් වුවද සාධු ප්‍රාර්ථනා අරා දරා උන්නද පුද්ගල හැකියාව අති ප්‍රචණ්ඩාකාර සමාජ ක්‍රමය ඉදිරියේ අති දුර්වල බැව් යළීදු පසක් විය. පැවති තතු ඉදිරියේ කළු ගලේ හිස නොගසන්නට උන්වහන්සේ තීරණය කොට තිබූ සෙයකි.
එතෙකුදු තම පූර්වගාමීන් දුෂ්කර සමයන්හි දැන් වූ වික්‍රමාන්විතයන් උන්වහන්සේ නොදැක්වීයැයි කීමෙන් උන්වහන්සේට අංශුමාත්‍රයකුදු අගෞරවයක් නොවේවා.
මා සාමාන්‍ය පෙළ පංතියේ දහම් පාසල් ශීෂ්‍යකුව සිටියදී (1994 දී පමණ) අප ගමේ පන්සලට ආගන්තුක හිමි නමක් වැඩියාහ. උන්වහන්සේ වයෝවෘද්ධය. කෙසඟ සිරුරු ඇත්තේය. වේව්ලන හඩැතිය. අල්ප භාෂීය. වරක් කුඩා සාමනේර නමක් උන්වහන්සේ ගේ රැවුල් කොණ්ඩා කපන්නේ, නුහුරු හුරුවෙන් හිස කැපී ගියේය. සාමනේර නම මහත් සංවේග පත්ව “රිදුනාද නායක හාමුදුරුවනේ” යි විමසූ කල්හී, ඒ ස්ථවීරයෝ දුන්නේ අපූරූ පිළීතුරකි
“ පුතේ ... රිදෙන්නේ මොකක්ද? රිදෙන්න කයක් කෝ... රූප යක් කෝ..වේඳනාවක් කෝ?..මේ සියල්ල සම්මුති මාත්‍රයක් විතරයි” ආරම්භ කොට පැය තුන හමාරක් තිස්සේ ,නිර්ලෝභීව,නිර්වෙහෙසව, ත්‍රිපිටකයේ අගින් මුලින් මැදින් උදාහරණ දක්වමින්, පුරාණ මතය, නවීන මතය ස්වකීය මතය පහදමින් තම හිස කැපීම නිමිති කොට මහත් විස්මයාවහ ධර්ම දේශනාවක් පැවැත් වූ සේක.
උන් වහන්සේ කවර නාමධාරීදැයි අදටත් මම නොදනිමි. එතෙකුදු බුරුමයේ දී කළුවර කාමරවල වැටී ත්‍රිපිටකය වන පොත් කළ බවද ,ලේඛනයේ ප්‍රාමාණීක වන්නට තමන්වහන්සේට කිසිදා නොහැකි වූ බවද උන්වහන්සේ එදා මා සමග කීවේය. සටහන් ලිවීම නැමති අලස චර්යාව ආගම ඉගෙනීම හා දේශනාකිරීම වගකීම කරගත් භික්ෂූන්ට කිසිසේත්ම නොගැලපෙන බවත්, ධර්මය වනපොත් කිරීම හා මෙනෙහි කිරීමම භික්ෂුන්ගේ ව්‍යක්තබවට,විශාරත්වයට, හා විනය ශික්ෂාව වැඩීමට අපූරූ ව්‍යායාමයක් බව,භාවනාවක් බව උන්වහන්සේ දේශනා කළා මතකය.
ඒ සා මහත් කොට භික්ෂුත්වය ඉසිලූ ඒ යති පරපුර වද වී ගොස් ඇත්තේය. අද ඒ ගමේ පන්සල ගේට්ටුවට CCTV කැමරා සවිකොට රකින , සීතල කරන ලද කාමර සහිත, ගමේ මිනිසුන්ගේ දානය බුදු පිළීමයට විතරක් තබා පන්සලේ උයා පිහාගෙන කන අසපුවකි.
ලංකාව යනු ගම් තිස් පන්දහසක් පමණී. නගර යනු තවමත් ලංකාවේ ව්‍යාතිරේඛයකි.ගමේ පන්සලත් ගමත් අතර සම්බන්ධය විනාශ වී ගිය පසු ගමේ ඉතිරිවන කිසිවක් නැත.හේතූව එවන් ආයතනයක් ව්‍යුහයක් පන්සල අතික්‍රමණය කරමින් බිහිව නැති නිසාය. එය ආගමික සංස්ථාවකට වඩා රටේ සමාජ සංස්කෘතික මෙහෙයුම් මධ්‍යස්ථානය විය. අසපු භීක්ෂූ ප්‍රතිරූපකයන් විසින් කළේ මෙයයි. පුජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ ව්‍යායාමයේ අවරචකයන් අපගතයක් වන මෙයින් රටටත් ශාසනයටත් සිදු වූ හානිය අති මහති.
සිවුරක් නැතිව ,කැඳත් නැතිව ,පත පොත නැතිව ගමේ පන්සලේ හාමුදුරවෝ අපාදුක් විදිද්දී ලක්ෂ ගණනින් වියදම් කොට අසපු මහණුන් කැදවා මහා බණ සංදර්ශන පවත්වන්නට පුරුදු විය. පාංශකූලයට ගමේ හාමුදුරුවන් අවශ්‍ය බව මේ අසපු බෞද්ධයෝ අමතක කළහ.
තමන් අපරාධකාරී ලෙස ඉපැයූ කළු සල්ලී ශුද්ධ කරගැනීම සඳහා මේ අසපු යොදා ගන්නටද ඒවාට ප්‍රචාරයක් දෙන්නටද ව්‍යාපාරිකයන් හා කප්පමට පුරුදු වූ මාධ්‍යයන් ක්‍රියා කළද, ගමේ මිනිහා රැවටුනේ ඒ අලංකාරයට ම ය. එය ඔවුන්ගේ පෞද්ගලික දුෂ්චරිතය එළීයට ඒමක් මෙන්ම, සංඝ සංස්ථාව විසින් පැහැර හැරි වගකීමක් තමන්ට ම පාරා වළල්ලක් වීමක්ද වෙයි.
දැන් මෙය යළී හැරවිය නොහැකි ඉමකට ඇවිත් දොහො යි සිතේ. එතෙකුදු මේ විනාශකාරී සමාජ චලනය ට යම් නිවැරදි දිශානතියක යොමු කරන්නට පන්සලට කළ හැකි කාර්යය භාරයක් තව දුරටත් ඇත. ජාතිවාදී ආගම්වාදී උම්මත්කයන්ට හා අවස්ථාවාදී දේශපාලන ඉහඳ පණුවන්ට අසු නොවී කළ යුතු සමාජ කාර්යයක් ගමේ පන්සලට තිබේ.
සමාජයේ රටේ පවතින සකළවිධ ගැටළුවලට විනාශයන්ට හේතූව තම පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු නියෝජිතයන් දහ පහලොස් දෙනෙකු නැති වීමයයි යන අතිශය මනෝමූල අවස්ථාවාදී චින්තනයට ජනතා විමුක්ති පෙරමුණත් යට වූ පසු , ගැලවීමක් නැතැයි යන විනාශකාරී හැඟීමෙන් විකල්ව වියරුව යාමට නියමිත ලාංකීය සමාජය සුවපත්ව තබා ගැනීමට නොහැකි වූවහොත් ධර්ම ද්වීපය, සිංහල දීපය තබා කතා කරන්නට රටක්වත් රටේ මිනිහෙක්වත් ඉතිරි නොවනු ඇත.
ඉදින්, මහනායක මාහිමි පාණන්ට කළ හැකි විශාලතම ගෞරවය වනු ඇත්තේ, මේ රටේ මිනිසුන්ට තව කාලයක් මිනිසුන් ලෙස පවතින්නට හැකි ලෙස සමාජ චලනයන් කළමනාකරනය කිරීමය.ඊට අවශය කරුණා ප්‍රඥා ගුණැති මඟ පෙන්වන්නන් ලෙස භික්ෂු සංස්ථාව හැඩ ගැස්සවීමය. සමාජ මනස ප්‍රඥාවන්ත කිරීමය. සමාජ හදවත කරුණාවන්ත කිරීමය.දැනට විකල්පයක් නැත.
©ගාමිණී ඒකනායක
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment