නොනගතයේ ලියමි !!!
රටක සංස්කෘතිය සාරධර්ම ඒ රටේත් ජනතාවගේත් අනන්‍යතාව වෙයි. සිංහල හින්දු අලුත් අවුරුදු සැලකුවෝ ලංකාවේ ප්‍රමුඛතම සංස්කෘතික මංගල්‍ය ලෙසය.
එය වසර පුරා දිවෙන බෞද්ධ ආගමික උත්සවයන්ට වෙනස්, බුද්ධාගම ඒමට පෙර පැවති ආගමික සිතුම් ,ජන සංස්කෘතිකාංග නාම මාත්‍රීකව හෝ සුරැකි උත්සවයක් විය.එසේම හින්දු ආගමිකයන් හා වෙනසක් නැතිව සිංහලයන් සමරන උත්සවයද මෙයයි.
ඒ අනුව පුරාණ “හෙළ“ සංස්කෘතිය,බෞද්ධ සංස්කෘතිය හා හින්දු ඇදහීම් සංකලනය ව පරිණාමිත සංස්කෘතිකාංගයක් ලෙස එහි වැදගත්කම අති මහති.
එහෙත් වැදගත් වන්නේ මේ උළෙල හා අත්‍යන්තව බැඳුණු ආර්ථික ක්‍රියාවලියයි. බක් මාසය පුරාණ ලංකාවේත් පොදුවේ සමකාසන්න රටවලත් අස්වනු නෙලන හෝ නෙලා අවසන් වන මාසය වෙයි. මේ සංස්කෘතිකාංගය උපදින්නේ, ඒ අස්වනු නෙලා ගැනීම හා බැදුණු සෞභාග්‍ය සාමුහිකව බෙදාගැනීමෙන්, ඉදිරි කෘෂීකාර්මික කටයුතු නව ජවයකින් ඉටුකිරීමට අවශ්‍ය සාමුහික ශ්‍රම සංවිධානය ප්‍රතිසංවිධානය කිරීමය. ඒ අරුතින් මේ බක් මහ උළෙල අතිශ්‍ය මානුෂිකද සමාජීය ද අරුත් සරු ද වෙයි. එය වෙනත් කෘෂිකාර්මික සමාජයන් හී එළැඹුම්වලට සාපේක්ෂව වඩා නිර්මාණශීලි බව ද කිව යුතුය.
එහෙත්, ඒ ආර්ථික පදනම විනාශය ගිය කල, තව දුරටත් මේ උළෙල හි සමාජීය හෝ මානුෂීක අරුත කුමක්ද?
පුරාණ සිංහලයා සිය සමස්ත සමාජ සංවිධානය සැකසුවෝ සිය ආර්ථික ක්‍රියාවලිය පරිපූර්ණ කරවන අරමුණෙනි. පුද්ගල ක්‍රියාකාරීත්වය හුදෙක්ම සමාජ ක්‍රියාකාරිත්වයේ දිගුවක් පමණක් විය. උදාහරණ ලෙස කුල ක්‍රමය ගත හැකිය. සමාජයේ සියළු සමාජිකයෝ ගොවිතැන උතුම් කොට සැලකූහ.ඒ එය නිශ්චිත හා සුරක්ෂීත ආහාර ලබා ගැනීමේ ක්‍රමය නිසාය. එහෙත් සමස්ත සමාජය කෘෂිකර්මයට යොමු වීම මඟින් අවශේෂ නිෂ්පාදන ක්‍රියාවලිය ඇණ හිටිමේ අනතුරක් මතු වන්නට ඇත. උදාහරණ ලෙස කෘෂීකාර්මික උපකරණ නිෂ්පාදනය කරන කම්මල් කර්මාන්තය ගත හැකිය.මීට පිළිතුර ලෙස සමාජයේ ඒ ඒ ශ්‍රේණීන් ශිල්පීන් කෘසිකාර්මික කටයුතුවලින් ඈත් කර තැබීමේ උවමනාව ඇති විය. ඒ ඈත් කිරීම මෘදු වූ විටඅවාහා විවහා හරහා යළීත් කෘෂිකාර්මික ප්‍රවාහයට එකතු වීම සිදු වූ නිසා එකී සකල විධ බැදීම් බිඳ දමා ආර්ථීක රටාව සුරකින්නට සමාජ සම්මුතියක් ඇති විය.
දෙවනුව එදා ගොවියා යනු සරල ආර්ථීක ක්‍රියාකාරිකයෙක් නොවීය.ඔහු වී ගොවිතැනට අමතරව ගෙවතු වගාවද, වෙනත් ආහාර හා ආර්ථික බෝග වගාවද කළහ. වැව් සැදීම දාගැබ් මහ මං තැනීමා දි පොදු සමාජ කාර්යයට අතිරික්ක ධනය සැපයූවෝ ද ශ්‍රමය සැපයූවෝද ඔවුහු ය.
කුඹුරට වී ටික දමා, රජයේ සහනාධාර පොහොර ටික දමා ,ගෙදරට වී සිට ඒ අස්වැන්නෙන් ණය තුරුස් ගෙවා,ගෙවල් සදා,දරුවන්ට උගන්වා,මඟුල් තුලා අවසන් කර, වාහන ගෙන ,දඹදිව වන්දනා කිරීමට ද සිහින දකින වර්තමාන ගොවියාගෙන් ඔහු වෙනස් වන්නේ,ඒ සමාජ ආර්ථික ක්‍රියාකාරීත්වය නිසාය.“ ගොවිගම“ වීම සමාජ බලයක් වූයේත්, මඩ සෝදාගත් කළ රජකමට සුදුසු වූයේත් එහෙයිනි.
මේ සියළු පදනම් බිඳි ගිය රටක “හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයක් “ පවත්වන්නේ ඇයි?.එකක් වෙනුවට “මහා සංස්කෘතික මංගල්‍යන්“ පැටවු ගැසීමෙන්, රටට ජනතාවට සිද්ද වී ඇත්තේ කවර වාසියක්ද? අඩුම තරමේ මහා සංචාරක ආකර්ෂණයක් වෙනුවෙන් හෝ (දළදා පෙරහැර වැනි) මේ “මංගල ්‍යයේ“ වැදගත්කමක් නැත්තේ ඇයි?
විෂය බාර ආචාර්ය මහාචාර්ය වරුන්ගේ වාචාල රූපවාහිනී දේශන වලින්,නිවේදකයන්ගේ වැල් වටාරම් තුලින්, ලිංගික ආකර්ෂණයක් සහිත රෙද්ද හැට්ට ඇදි යෞවනියන්ගේ රූපවාහිනි පෙනීසිටීම් මගින් හා ග්‍රීස් ගහේ නැගීම,බනිස් කෑම,කොට්ටා පොර වැනි “ජාතික ක්‍රීඩා“ මඟින් ,අරක්කු,රිය අනතුරු,මරා ගැනීම්.ණය වී රෙදි ඇද,කිරිබත් කෑම මඟින් හා ඉන්පසු මාස කිහිපයක් විඳවීම යන අංගයන්ගෙන් සමන්විත වර්තමාන අලුත් අවුරුදු උළෙල, කූට වෙළෙන්දන්ට හා ජාවාරම්කාරයන්ට හැර යහපතක් වී ඇත්තේ කාටද?
අඩුම තරමේ එයින් සුරැකෙන සංස්කෘතිකාංග මොනවාද? සමාජ ඇගයුම් වටිනාකම් මොනවාද? සංකේතාත්මකව සංචාරක ආකර්ශනය උදෙසා වන එක් ජාතික උත්සවයක් (දළදා පෙරහැර මෙන්) පමණක් පවත්වා මේ වෙළද ආතතියෙන් පොදු ජනයා නිදහස් කරගෙන මේ ව්‍යාජය නැවැත්වීමට කල් නොවෙද?ගෘහාශ්‍රිත සිරිත් විරිත් (හැම පෝයටම කරන්නා මෙන්) රැකුණාවේ. එහෙත් මානව විරෝධී ,ආර්ථික විරෝධී සංස්කෘතික විරෝධී මහා මාධ්‍ය සංදර්ශන නැවැත්වීමට මේ කල් නොවේද?
ජාතීන් ඉදිරියට ගොස් ඇත්තේ පරිණාමය හා වෙනස් වීම නිසාය. පැරණී දේ සංරක්ෂණය කරනාතුර නව්‍ය දේ භාවිත කිරීම තුළීනි.
එහෙත් ගැටළුව එය නොවේ.මේ විකාර නැවැත් වූ පසු අපට ඉතිරි වන යමක් ඇතිද?
© ගාමිණී ඒකනායක

No comments:
Post a Comment