Tuesday, April 14, 2015

අමර සර විභූතිය

අමරදේව වනාහී ලාංකීය සුභාවිත ගීතයේ අනූපමේය යුග කාරක මහා පුරුෂයා වන්නේ ම ය. ජන සංගීතය, උත්තර භාරතීය සංගීතය,බටහිර සංගීතයාදී විවිධ විෂම හුදකලා ප්‍රයත්නයෝ සරල ගීතය තුළ මනරම්ව සුසංයෝග කොට පෙන්වා “සංගීතය වනාහී විශ්ව භාෂාවයි“ යන්න ලංකාවේ බහු ජනයාට අරුත් ගැන් වූවෝ එතුමාණෝය.
අමරදේවයෝ වනාහී සිය විෂයෙහි ව්‍යක්තය,විශාරදය, එපමණටත් වඩා විනීතය.සතතාභ්‍යාසය ම සිය පැවැත්මේ ව්‍යායාමය කරගත් සදාකාලික යෞවනයෙකි.උහූ සිය විෂයෙහි සියළු නව්‍ය පරිවර්තනයන් අතැඹුලක් කොට ගැනීමට පසුබට නොවෙති.අප්‍රමාද වෙති.සිය ගැයුම් සඳහා එතුමා  තෝරා පිළිගෙන ඇති ගේය රචනා දෙස බලන විට  එතුමාගේ ව්‍යක්ත බව විශාරද බව මෙන්ම ශාස්ත්‍රෙය් හි ලා වන විනීත කම ද මැනවින් ස්ඵුට වේ.
මේ ලක්ෂන වනාහී අප ජීවත් වන යුගයේ කලාකරුවකු තුළ ඇතැයි කිසිසේත්ම සිතිය නොහැකි මහත්ඵල මහානිශංස දෙන චරිත ලක්ෂනයෝය.
එවැනි උත්මතම ශාස්ත්‍රීය කලා වින්ඳනයක් සහිත ජීවිතයක් තිරසරව පවත්වා ගැනීමට අමරදේවයන්ට හැකිව ඇත්තේ කෙසේද?
එතුමාණෝ මුල් සහිත පරපුරක අවසාන සංරචකයකි.බටහිර මහබලවත් ජාතීන් තුනක ආයෝමය ප්‍රයත්නයට බිඳින්නට නොහැකිව තිබී 1956 අභ්‍යන්තරයෙන් පුපුරා හැළුණ සම්ප්‍රදායක ඵල නෙලාගත් වාසනාවන්තයෙකි..තාගෝරයන් ගේ මහා සංස්කෘතික විප්ලවයේ අනුහස් සමීපව වින්ඳෙකි.
තවද, අමරදේවයෝ මේ සලිත කම්පිත විනාශකාරී සමාජ ආර්ථික පල් වලේ නොගැවී සිටින්නට තරම් වාසනාවන්තද උපක්‍රමශීලි ද වූවෝ වෙති.උහු කිසිඳු දැනුවත් සමාජ ව්‍යාපාරයක් සංසිද්ධියක ප්‍රකාශකයෙක් නොවූහ.කිසිවක් වෙනුවෙන් පෙනී නොසිටියාහු ම ය.තම ජීවිත කාලය තුළ වූ අනේක විධ සමාජ සංක්ෂෝපයෝ මැදහත් සිතින් ඉවසාලූහ.තම රැකියාවෙන් දොට්ට දමන විට පවා මුනිවර උපේක්ෂාවෙන් දයාවෙන් ඒ දෙස බැලූහ.ප්‍රතික්‍රියා දැක්වූ හ.
එතුමාණෝ මහා සංස්කෘතික ප්‍රවාහකයකු ලෙස ප්‍රදීප්තිමත් ව ලෝ පූජිත නොවන්නට එක් හේතූවකි මේ.අනෙක් අතට සංස්කෘතික කාන්තාරයක් බවට පෙරලෙමින් තිබූ භූමියක ඊට යට නොවී සිටීමේ ධීර වික්‍රමය පමණක් පාමීයි එතුමාණො  සිය තතු මත තීරණය කරන්නට ඇත.
සංස්කෘතික පරිණාමයක් රහිත රටක, කර අඹා ජන්දදායකයන් බවට පමණක් සකසන ලද මහජනතාවක්  සිටින රටක අමරදේවයන්ගේ ප්‍රයත්නය සදා වන්දනීය ගෞරවනීය මානව ප්‍රයත්නයක්ම වන්නේය.
එතෙකුදු, සිය රසික ජනයා මේ නරාවලෙන් ගොඩ ගැනීමේ  අංශු මාත්‍රයක වෙරක් දරන්නට මේ මහා පෞර්ෂය තීරණය කළානම් ,ලොවට තවත් තාගෝර් කෙනෙකු බිහිවන්නට හොඳටෝම ඉඩ තිබිණි.
තතු එසේ නොවන හෙයින්,“අමරදේවයෝ වනාහී රුවන්වැලි සෑය, ශ්‍රී මහාබෝධීය,ථූපාරාමයා දී ජාතික වස්තුවකි“ යි යන කිවිවර රත්න ශ්‍රී ගේ උදානය නන් අයුරින් අර්තාන්විතය.
අමරදේවයෝ නිදුක් නිරෝගී චිර ජීවනය, ආයු වර්ණ සැප බල ලැබ, තව සුවහසක් කල් ජනී ජන මන පහන් කොට, උන් ගේ  ජීවනාභීලාෂ දැල්වීමේ බෝසත් වත සකලාර්ථයෙන්ම  සම්පූර්ණ කරන්නට හේතූ වාසනා වේවා!!!

©ගාමිණී ඒකනායක

No comments:

Post a Comment