Tuesday, April 14, 2015

හමන සුළං මකුළු දැලෙන් නවතන්නද මං???

සංස්කෘතික පරිණාමයක් සහිත සමාජයක උපන්නානම් ලෝක පූජීත වන්නට සියලු ශඛ්‍යතාවන් අරා දරා සිටි, මර්සි එදිරිසිංහ නම් විශිෂ්ඨතම රංග ශිල්පිණිය භවයක සකළවිධ බැඳීම් හැර දැමුවාය. මේ විකෘති සමාජ ජංජාලයේ මිනිස්සුන්ට හිමි කල දසාව කවරේදැයි මේ ජනකාන්ත කලාකාරිය සිය ජීවිතයෙන් ඔප්පු කළාය. කවර ශඛ්‍යතා දරාගෙන කැපවුන ද මේ “පින් කෙත හෙළ රන් දෙරන“ සදහටම පුරන් වී ඇති බැව් දැන් ස්ඵූට ය. එය මර්සි වැනි විශිෂ්ඨ ශඛ්‍යතා සහිත ගැහැණීයක් අසරණ කොට මරා දමන්නට තරම් සැහැසිය.නිර්දය ය. අමානුෂිකය. තව දුරටත් මානුෂීය දේ මේ බිමට අරුචිය .අපුලය. එහෙයින් ඒවා ලත් තැනම ලොප් කරන්නට,බිජුවට පාගා මරා දමන්නට ක්ෂණීකව ඉදිරිපත් වේ.

මර්සි ට මෙසේ මිය යෑමට ඉඩ දීමෙන්,එවැනි ශඛ්‍යතා සහිත වෙනත් මිනිසුන්ට කරන තර්ජනය සුළු පටු නොවේ. වටහා ගත යුත්තේ,කොන්දේශී විරහිතව අරගල කළ යුත්තේ මේ විනාශයට එරෙහිවය.දේශපාලකයන් හා ඡන්ද දායකයන් පමණක් සිටියාම ඇති යැයි හිතන සමාජයක, සිටන්නේද දේශපාලකයන් හා ඡන්ද දායකයින් පමණී..සමහරු මර්සි කලා කාරියක් ලෙස හැදින්වුවද,ඇය ඡන්දදායිකාවකට වඩා වැඩි පියවරක් ඉදිරියට නොතබා භවගාමී වුයේ එහෙයිනි.

ඇයට නිවන් සුව ලැබේවා!!!

© ගාමිණී ඒකනායක

නොනගතයේ ලියමි !!!

රටක සංස්කෘතිය සාරධර්ම ඒ රටේත් ජනතාවගේත් අනන්‍යතාව වෙයි. සිංහල හින්දු අලුත් අවුරුදු සැලකුවෝ ලංකාවේ ප්‍රමුඛතම සංස්කෘතික මංගල්‍ය ලෙසය.
එය වසර පුරා දිවෙන බෞද්ධ ආගමික උත්සවයන්ට වෙනස්, බුද්ධාගම ඒමට පෙර පැවති ආගමික සිතුම් ,ජන සංස්කෘතිකාංග නාම මාත්‍රීකව හෝ සුරැකි උත්සවයක් විය.එසේම හින්දු ආගමිකයන් හා වෙනසක් නැතිව සිංහලයන් සමරන උත්සවයද මෙයයි.
ඒ අනුව පුරාණ “හෙළ“ සංස්කෘතිය,බෞද්ධ සංස්කෘතිය හා හින්දු ඇදහීම් සංකලනය ව පරිණාමිත සංස්කෘතිකාංගයක් ලෙස එහි වැදගත්කම අති මහති.

එහෙත් වැදගත් වන්නේ මේ උළෙල හා අත්‍යන්තව බැඳුණු ආර්ථික ක්‍රියාවලියයි. බක් මාසය පුරාණ ලංකාවේත්  පොදුවේ සමකාසන්න රටවලත් අස්වනු නෙලන හෝ නෙලා අවසන් වන මාසය වෙයි. මේ සංස්කෘතිකාංගය උපදින්නේ, ඒ අස්වනු නෙලා ගැනීම හා බැදුණු සෞභාග්‍ය සාමුහිකව බෙදාගැනීමෙන්, ඉදිරි කෘෂීකාර්මික කටයුතු නව ජවයකින් ඉටුකිරීමට අවශ්‍ය  සාමුහික ශ්‍රම සංවිධානය ප්‍රතිසංවිධානය කිරීමය. ඒ අරුතින් මේ බක් මහ උළෙල අතිශ්‍ය මානුෂිකද සමාජීය ද අරුත් සරු ද වෙයි. එය වෙනත් කෘෂිකාර්මික සමාජයන් හී එළැඹුම්වලට සාපේක්ෂව වඩා නිර්මාණශීලි බව ද කිව යුතුය.

එහෙත්, ඒ ආර්ථික පදනම විනාශය ගිය කල, තව දුරටත් මේ උළෙල හි සමාජීය හෝ මානුෂීක අරුත කුමක්ද?

පුරාණ සිංහලයා සිය සමස්ත සමාජ සංවිධානය සැකසුවෝ සිය ආර්ථික ක්‍රියාවලිය පරිපූර්ණ කරවන අරමුණෙනි. පුද්ගල ක්‍රියාකාරීත්වය හුදෙක්ම සමාජ ක්‍රියාකාරිත්වයේ දිගුවක් පමණක් විය. උදාහරණ ලෙස කුල ක්‍රමය ගත හැකිය. සමාජයේ සියළු සමාජිකයෝ ගොවිතැන උතුම් කොට සැලකූහ.ඒ එය නිශ්චිත හා සුරක්ෂීත ආහාර ලබා ගැනීමේ ක්‍රමය නිසාය. එහෙත් සමස්ත සමාජය කෘෂිකර්මයට යොමු වීම මඟින් අවශේෂ නිෂ්පාදන ක්‍රියාවලිය ඇණ හිටිමේ අනතුරක් මතු වන්නට ඇත. උදාහරණ ලෙස කෘෂීකාර්මික උපකරණ නිෂ්පාදනය කරන කම්මල් කර්මාන්තය ගත හැකිය.මීට පිළිතුර ලෙස සමාජයේ ඒ ඒ ශ්‍රේණීන් ශිල්පීන් කෘසිකාර්මික කටයුතුවලින් ඈත් කර තැබීමේ උවමනාව ඇති විය. ඒ ඈත් කිරීම මෘදු වූ විටඅවාහා විවහා හරහා යළීත් කෘෂිකාර්මික ප්‍රවාහයට එකතු වීම සිදු වූ නිසා එකී සකල විධ බැදීම් බිඳ දමා ආර්ථීක රටාව සුරකින්නට සමාජ සම්මුතියක් ඇති විය.
දෙවනුව  එදා ගොවියා යනු සරල ආර්ථීක ක්‍රියාකාරිකයෙක් නොවීය.ඔහු වී ගොවිතැනට අමතරව ගෙවතු වගාවද, වෙනත් ආහාර හා ආර්ථික බෝග වගාවද කළහ. වැව් සැදීම දාගැබ් මහ මං තැනීමා දි පොදු සමාජ කාර්යයට අතිරික්ක ධනය සැපයූවෝ ද ශ්‍රමය සැපයූවෝද ඔවුහු ය.
කුඹුරට වී ටික දමා, රජයේ සහනාධාර පොහොර ටික දමා ,ගෙදරට වී සිට ඒ අස්වැන්නෙන්  ණය තුරුස් ගෙවා,ගෙවල් සදා,දරුවන්ට උගන්වා,මඟුල් තුලා අවසන් කර, වාහන ගෙන ,දඹදිව වන්දනා කිරීමට ද සිහින දකින වර්තමාන ගොවියාගෙන් ඔහු වෙනස් වන්නේ,ඒ සමාජ ආර්ථික ක්‍රියාකාරීත්වය නිසාය.“ ගොවිගම“ වීම සමාජ බලයක් වූයේත්, මඩ සෝදාගත් කළ රජකමට සුදුසු වූයේත් එහෙයිනි.
මේ සියළු පදනම් බිඳි ගිය රටක “හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයක් “ පවත්වන්නේ ඇයි?.එකක් වෙනුවට “මහා සංස්කෘතික මංගල්‍යන්“ පැටවු ගැසීමෙන්, රටට ජනතාවට සිද්ද වී ඇත්තේ කවර වාසියක්ද? අඩුම තරමේ මහා සංචාරක ආකර්ෂණයක් වෙනුවෙන් හෝ (දළදා පෙරහැර වැනි)  මේ “මංගල ්‍යයේ“ වැදගත්කමක් නැත්තේ ඇයි?

විෂය බාර ආචාර්ය මහාචාර්ය වරුන්ගේ වාචාල රූපවාහිනී දේශන වලින්,නිවේදකයන්ගේ වැල් වටාරම් තුලින්, ලිංගික ආකර්ෂණයක් සහිත රෙද්ද හැට්ට ඇදි යෞවනියන්ගේ රූපවාහිනි පෙනීසිටීම් මගින් හා ග්‍රීස් ගහේ නැගීම,බනිස් කෑම,කොට්ටා පොර වැනි “ජාතික ක්‍රීඩා“ මඟින් ,අරක්කු,රිය අනතුරු,මරා ගැනීම්.ණය වී රෙදි ඇද,කිරිබත් කෑම මඟින් හා ඉන්පසු මාස කිහිපයක් විඳවීම යන අංගයන්ගෙන් සමන්විත වර්තමාන අලුත් අවුරුදු උළෙල, කූට වෙළෙන්දන්ට හා ජාවාරම්කාරයන්ට හැර යහපතක් වී ඇත්තේ කාටද?
අඩුම තරමේ එයින් සුරැකෙන සංස්කෘතිකාංග මොනවාද? සමාජ ඇගයුම් වටිනාකම් මොනවාද? සංකේතාත්මකව සංචාරක ආකර්ශනය උදෙසා වන එක් ජාතික උත්සවයක් (දළදා පෙරහැර මෙන්) පමණක් පවත්වා මේ වෙළද ආතතියෙන් පොදු ජනයා නිදහස් කරගෙන මේ ව්‍යාජය නැවැත්වීමට කල් නොවෙද?ගෘහාශ්‍රිත සිරිත් විරිත් (හැම පෝයටම කරන්නා මෙන්) රැකුණාවේ. එහෙත් මානව විරෝධී ,ආර්ථික විරෝධී සංස්කෘතික විරෝධී මහා මාධ්‍ය සංදර්ශන නැවැත්වීමට මේ කල් නොවේද?

ජාතීන් ඉදිරියට ගොස් ඇත්තේ පරිණාමය හා වෙනස් වීම නිසාය. පැරණී දේ සංරක්ෂණය කරනාතුර නව්‍ය දේ භාවිත කිරීම තුළීනි.

එහෙත් ගැටළුව එය නොවේ.මේ විකාර නැවැත් වූ පසු අපට ඉතිරි වන යමක් ඇතිද?

©  ගාමිණී ඒකනායක

විදීයේ මනුෂ්‍ය අරගලය

කලාව කා උදෙසාදැයි නිසරු විවාද යන්ගෙන් කාලය කා දැමූ යුගයක් විය.ඒ පොදු මහජනයාට දුරවබෝධ මනසිකාර වැපිරීමක් විය. කලාව උදෙසා පූජාසන තනා කලාව පූජනීයත්වය පත්කළ යුගයක් විය.කලා පූජකයෝ පහළ වූ අතර, පොදු මහජනයා ඒ කලා පූජකයන්ට පුද පෙළහර පෑවෝ ය.ඒ යුග අවසන බැස ගිය රළක් සේ, හිස් වෙරළ ඉතිරි විය. එනයින් මහජනයාට කලාව වනාහී අත්‍යාවශය මිනිස් ක්‍රියාකාරකමක් නොව, “ඇත්තො කා බී සුඛා - තෙල ට කෙළින තවත් කෙළක්“ පමණක් විය. නැත්තන්ට කලා “සුත්ත පටවල්“ ද බිහි විය.

මෙරට කලා කරුවෝ උනිනම් මහජන ඇස් වසා පාලක පරිපාලක තන්ත්‍රයට මෙතරම් විනාශයක් කළ හැකි ද ? නොහැකිමය.කළත් මෙතරම් සරලව සුමටව මේ ගමන එන්නට උන්ට නොහැකිය.

මහපාරේ මරා දැමූ මිනිස්සුන් ගැන හෘද සාක්ෂීයක් නැති රටක, මහ පාරේ කලාව කළ මිනිහෙක් ගැන හෘද සාක්ෂීයක් වෙත්ද? ඒ මිනිසාට තිබූ හෘද සාක්ෂීය මිනිසුන් වෙනුවෙන් වින්ඳ වේඳනාව අවසාන සසැලුම තෙක් ඒ හද දරන්නට ඇතිවාට සැක නැත.පෙරත් වරක් කියූ ලෙසට සංස්කෘතික පරිණාමයක් සහිත රටක උපන්නානම්,ලෝක පූජිත වන්නටත් ෂේක්ස්පියර්ට පසු ෂේක්ෂපියර් වන්නටත් සකල විධ ශඛ්‍යතා අරා දරා සිටි “හතා“ට මේ කොදෙව්ව නැමති ලොට තන පුඩුව අත හරින්නට බැරි හෘද සාක්ෂියක් තිබිණි.

ඉංග්‍රීසි අංශයට වී නාමධාරී ව වැජඹෙන්නට බැරි උපන්ගෙයි දොසක් තිබිණි.

ඉතින්  අවසන, මහමඟ හැලූ දහදිය කඳුළින් ගොඩ නෑගූ මනුෂ්‍ය රිද්මය අදටත් ගසා කන ගෝල බාලයන් බාලියන් හැර, මේ “මිනිසා“ සමාජයට ඉතිරි කළේ කුමක්ද?

ඕනෑම ආකාරයක “මානුෂික කැපවීම්“ පිළිබද අවිශ්වාසය පමණි.

© ගාමිණී ඒකනායක

අමර සර විභූතිය

අමරදේව වනාහී ලාංකීය සුභාවිත ගීතයේ අනූපමේය යුග කාරක මහා පුරුෂයා වන්නේ ම ය. ජන සංගීතය, උත්තර භාරතීය සංගීතය,බටහිර සංගීතයාදී විවිධ විෂම හුදකලා ප්‍රයත්නයෝ සරල ගීතය තුළ මනරම්ව සුසංයෝග කොට පෙන්වා “සංගීතය වනාහී විශ්ව භාෂාවයි“ යන්න ලංකාවේ බහු ජනයාට අරුත් ගැන් වූවෝ එතුමාණෝය.
අමරදේවයෝ වනාහී සිය විෂයෙහි ව්‍යක්තය,විශාරදය, එපමණටත් වඩා විනීතය.සතතාභ්‍යාසය ම සිය පැවැත්මේ ව්‍යායාමය කරගත් සදාකාලික යෞවනයෙකි.උහූ සිය විෂයෙහි සියළු නව්‍ය පරිවර්තනයන් අතැඹුලක් කොට ගැනීමට පසුබට නොවෙති.අප්‍රමාද වෙති.සිය ගැයුම් සඳහා එතුමා  තෝරා පිළිගෙන ඇති ගේය රචනා දෙස බලන විට  එතුමාගේ ව්‍යක්ත බව විශාරද බව මෙන්ම ශාස්ත්‍රෙය් හි ලා වන විනීත කම ද මැනවින් ස්ඵුට වේ.
මේ ලක්ෂන වනාහී අප ජීවත් වන යුගයේ කලාකරුවකු තුළ ඇතැයි කිසිසේත්ම සිතිය නොහැකි මහත්ඵල මහානිශංස දෙන චරිත ලක්ෂනයෝය.
එවැනි උත්මතම ශාස්ත්‍රීය කලා වින්ඳනයක් සහිත ජීවිතයක් තිරසරව පවත්වා ගැනීමට අමරදේවයන්ට හැකිව ඇත්තේ කෙසේද?
එතුමාණෝ මුල් සහිත පරපුරක අවසාන සංරචකයකි.බටහිර මහබලවත් ජාතීන් තුනක ආයෝමය ප්‍රයත්නයට බිඳින්නට නොහැකිව තිබී 1956 අභ්‍යන්තරයෙන් පුපුරා හැළුණ සම්ප්‍රදායක ඵල නෙලාගත් වාසනාවන්තයෙකි..තාගෝරයන් ගේ මහා සංස්කෘතික විප්ලවයේ අනුහස් සමීපව වින්ඳෙකි.
තවද, අමරදේවයෝ මේ සලිත කම්පිත විනාශකාරී සමාජ ආර්ථික පල් වලේ නොගැවී සිටින්නට තරම් වාසනාවන්තද උපක්‍රමශීලි ද වූවෝ වෙති.උහු කිසිඳු දැනුවත් සමාජ ව්‍යාපාරයක් සංසිද්ධියක ප්‍රකාශකයෙක් නොවූහ.කිසිවක් වෙනුවෙන් පෙනී නොසිටියාහු ම ය.තම ජීවිත කාලය තුළ වූ අනේක විධ සමාජ සංක්ෂෝපයෝ මැදහත් සිතින් ඉවසාලූහ.තම රැකියාවෙන් දොට්ට දමන විට පවා මුනිවර උපේක්ෂාවෙන් දයාවෙන් ඒ දෙස බැලූහ.ප්‍රතික්‍රියා දැක්වූ හ.
එතුමාණෝ මහා සංස්කෘතික ප්‍රවාහකයකු ලෙස ප්‍රදීප්තිමත් ව ලෝ පූජිත නොවන්නට එක් හේතූවකි මේ.අනෙක් අතට සංස්කෘතික කාන්තාරයක් බවට පෙරලෙමින් තිබූ භූමියක ඊට යට නොවී සිටීමේ ධීර වික්‍රමය පමණක් පාමීයි එතුමාණො  සිය තතු මත තීරණය කරන්නට ඇත.
සංස්කෘතික පරිණාමයක් රහිත රටක, කර අඹා ජන්දදායකයන් බවට පමණක් සකසන ලද මහජනතාවක්  සිටින රටක අමරදේවයන්ගේ ප්‍රයත්නය සදා වන්දනීය ගෞරවනීය මානව ප්‍රයත්නයක්ම වන්නේය.
එතෙකුදු, සිය රසික ජනයා මේ නරාවලෙන් ගොඩ ගැනීමේ  අංශු මාත්‍රයක වෙරක් දරන්නට මේ මහා පෞර්ෂය තීරණය කළානම් ,ලොවට තවත් තාගෝර් කෙනෙකු බිහිවන්නට හොඳටෝම ඉඩ තිබිණි.
තතු එසේ නොවන හෙයින්,“අමරදේවයෝ වනාහී රුවන්වැලි සෑය, ශ්‍රී මහාබෝධීය,ථූපාරාමයා දී ජාතික වස්තුවකි“ යි යන කිවිවර රත්න ශ්‍රී ගේ උදානය නන් අයුරින් අර්තාන්විතය.
අමරදේවයෝ නිදුක් නිරෝගී චිර ජීවනය, ආයු වර්ණ සැප බල ලැබ, තව සුවහසක් කල් ජනී ජන මන පහන් කොට, උන් ගේ  ජීවනාභීලාෂ දැල්වීමේ බෝසත් වත සකලාර්ථයෙන්ම  සම්පූර්ණ කරන්නට හේතූ වාසනා වේවා!!!

©ගාමිණී ඒකනායක

ජෝතී භූෂණ

“ප්‍රතිභාව“ යැයි යමක් වේ.එය පුර්ව සවාසනා බලයෙකැයි පුරාණ මුනි උතුමෝ කීහ.එසේ නොවන බවට ද මත වෙති.
ඒ ප්‍රතිභා තොමෝ මනුෂ්‍ය නිර්මාණශීලිත්වයේ පරම උල්පත ද වන්නේ ය.තවද, ඒ ප්‍රතිභාව සතතාභ්‍යාස කිරීමෙන් ලත් පරිචය හෙවත් ව්‍යුත්පත්තියෙන් සුපෝෂිත ව සුරැකෙයි. නිර්මාණශීලිත්වය  සතතාභ්‍යාසයෙන් හෙවත් මනුෂ්‍ය බුද්ධි නිශ්පාදන පරිභෝජනයෙන් පෝෂණය වන්නා සේ ම,ඉන් ලබන වර්ධනය පෙරලා මානව බුද්ධීයේ නව වර්ධනයන්ට හේතූ වෙයි.මේ අපෝහකය මනුෂ්‍ය නිර්මාණශීලිත්වයේ ප්‍රවර්ථන නියාමයයි.
අත්පත් කරගත් දැනුම සහ පුහුණුව  නැමති ගිනිගලේ නොගෑවී ප්‍රතිභාව මුවහත් වේඳ? මනුෂය අත්දැකීම් අනුව නම් පිළිතුර “නැත“ යන්නයි.
එහෙත්, සුවිශේෂී පෞර්ෂයෝ ඉතිහාසය විසින් දායාද කොට ඇත්තාහ.
එච්.ආර්.ජෝතිපාල වනාහී එවැනි සුවිශේෂයකි.
සිය හඬ හින්දි ගීතයෙන් ලද ස්වප්න ආශ්වාදයෙන් ජීවන විජිශාව කරගත් හෙතෙම, පරාජය නොකළහැකි සෙන්පතියකු සේ සිය සිහිනයේ එල්ඹ කැපව, ඒ සිහින සාක්ෂාත් කරගත්තෙකි.
භාරතීය හින්දි සිනමාවේ මෙන් වර්ධනයන් අත්පත් කරගැනීමට තරම් බල සහිත සංස්කෘතික පරිසරයක් හෝ ධෙර්යය සම්පන්න ආර්ථික ක්‍රියාදාමයක් නොවූ ශ්‍රි ලංකාවේ ,ඌන ධනවාදයේ නැමති කුස ගේ කැවුම් මුහුණ ට මහරු මිණක් වූයේ මේ හඬයි.
“පීචං ගායක“ යැ යි හණ ගන්වා ඔහු පීඩිත පංතියේ ගායකයා බවට පින්තාරූ කොට තබන ලද්දේ ම ඒ නිසාය.
තවද ඇන්ජලින් ගුණතිලක සුජාතා අත්තනායක ලතා වල්පොල වැනි ශික්ෂිත හඬ මුසු කිරීමෙන් ඒ හඬේ වූ අඩු පාඩු වසා දමන ලදි.විශේෂයෙන්ම අලංකාර ගායනයේ දී ඔහු ගේ වූ අඩුව නියතව මකන ලද්දී මේ ගායිකා තුන්කට්ටුව විසිනි.

ජෝතිපාලගේ හඩ විසින් තනන ලද නිෂ්පාදියන්ට ඒ කේෂත්‍රෙය් විශාලතම “වෙළද පළ“ හිමි විය.එහෙයින් ඔහු  “ජනප්‍රියම“ විය.
ජෝතිපාල ගයන ලද්දේ අනන්‍යතාව හිස් වූ බොල් සමාජයකට නොවේ.ඔහුට අමරදේව වන්නට ඕනෑ කමක් නොතිබුණා සේම,මිල්ටන් මල්ලවආරච්චිට හෝ වෙනෙකුට ජෝතිපාල වන්නට උවමනාවක් නොතිබුණි.රූකාන්ත ගුණතිලකගෙන් අවසන් වූ මේ මහා සම්ප්‍රදාය නිසාම ජෝතිපාලයෝ “ලකුණ“ ක් සහිත ගායකයකු විය.
ඔහු ප්‍රතිභාන්විතය.එහෙත් විධිමත් පුහුණුව හෝ අභ්‍යාසය රහිත ව ම ඔහු සාර්ථක වූ බව පිළිගත යුතුය.ඒ ඔහුගේ පුද්ගල කැපවීමේ මෙන් ම ,ඓහාසික සමාජ අවශ්‍යතාවක් ද විය.
“ප්‍රතිභාන්විත නිර්මාණකරුවා අතින් සිදුවන දූෂණයත් භූෂණයක්ම වන්නේ ය“ යන පුරාණ ඉසි වදන එච්.ආර්.ජෝතිපාලයන් සම්බන්ධයෙන් වඩාත් සත්‍යය වන්නේය.

© ගාමිණී ඒකනායක

---තමන්ගේ ම එළියෙන් දැවුණු කඳෝපැණියා----

---තමන්ගේ ම එළියෙන්  දැවුණු කඳෝපැණියා----

“මිනිසා ස්වභාවයෙන්ම යහපත් යැයි කියන විට අප ඉතා ශ්‍රේෂ්ට යමක් කියන බව අපි සිතමු.එහෙත් මිනිසා ස්වභාවයෙන්ම නරක යැයි කියන විට අප ඊට වඩා ශ්‍රේෂ්ට යමක් කියවෙන බව සිහිතබාගත යුතුයැ“ යි ශ්‍රේෂ්ට ජර්මානු මුනිවර හේගල් කියා ඇත්තේය. හේගල් සමතික්‍රමණය කළා වූ, මාක්ස් කීවේ “මිනිසා යනු පරිසරයේත් සමාජයේත් ශික්ෂණයක්“ බවයි.එතෙකුදු මාක්ස් අවධාරණය කළේ “ශික්ෂිතයාද ශික්ෂණය කළ යුතුම“ බවයි.
සාධුතර පුද්ගල විශිෂ්ටතා මානවීය වූ පෘථිවි පැවැත්මේ පදනම නොවේ. සමාජීය වූ, සාමුහික පැවැත්ම “යහපත“ පිළිබද පුද්ගල චර්යාව ට පදනම් වෙයි.එය තනි තනි පුද්ගලයාගේ කැමැත්ත වන්නේ නොවේ.“යහපත“ සාපේක්ෂ නමුත් සමාජයත් පුද්ගලයාත් අතරවන අපෝහක පැවැත්ම, අනාගතවාදී මානව අර්ථයකින් සුසාධනය කිරීම “යහපත“ යි කියමු.
එහෙත් යළිත් කියන්නේ නම් මේ “යහපත“ පුද්ගලයා ස්වේච්ඡාවෙන් තෝරාගන්නා “උපන්ගෙයි“ පුරුද්දක් වන්නේ නැත.සමාජය ඊට පසුබිම පදනම සදා දී,පුද්ගලයා ඒ මානවීය ක්‍රියාකාරකම් දෙසට දැක්කිය යුතුය.
එසේ නොවන සමාජයක පුද්ගල සාධු ප්‍රාර්ථනා හා වික්‍රමාන්විතයෝ හුදු සංත්‍රාසයන්ව ඇදී මැකී යයි.මානව නැඹිඹර නම්,වසන්ත රාත්‍රීයේ සදා සූදීප්තව කැපී නොපෙනෙයි. ක්ෂණිකව පෙනී කැපෙයි.!!
ජැක්සන් ඇන්තනී නම්, විශිෂ්ඨ හැකියා අරා දරා ගත් රංගන ශිල්පියා අද පත්ව ඇති දසාව තේරුම් ගැනීමට මේ පසුබිම ඉතා වැදගත්ය.
ජැක්සන් ඇන්තනී යනු හුදු ඕපපාතික සත්වයෙක් නොවේ.1956 දී බණ්ඩාරණායක විසින් ගෙල සිඳින ලද මුත් පරිනාමය වෙමින් පැවති පෘථුල සංස්කෘතියක් ගුරු කොටගත් අවසාන පරම්පරාවේ සංරචකයකි ඔහු.මනමේ,ගම්පෙරලිය,රේඛාව,මල් ලේ නැති ඇට, නිපදවෙන්නට පිටුබල වූ සංස්කෘතික මුදුන් මුල් සිඳ දමද්දී,ඉන් පෝෂණය වූ පරම්පරාවක් තවමත් ඉතිරීව සිටි අතර ජැක්සන් ශික්ෂණය ලැබූවේ ඒ වාසනාවන්ත පරම්පරාවෙනි.
අනික් සුවිශේෂ කරුණනම් 1971 සමාජ අරගලයට පිටුබල වූත්,එකී අරගලයේ ප්‍රතිඵල වූත් සමාජ ක්‍රියාකාරකම් අත්දකින්නට ජැක්සන් වාසනාවන්ත වීමය.1980 න් මෙපිට උතුරේත් දකුණේ ත් සමාජ සංක්ෂෝපය උජ්වලිතව නැගෙද්දී , සිය පදනම් ඇඟයුම් පාවා නොදෙන්නට ජැක්සන්ට බල කළාහූ මේ සමාජයයි.ජැක්සන් අවංකව ඒ සමාජ අණ පිළිගත් හෙයින් සමාජය ඔහුට සිය විශිෂ්ඨ හැකියාව ප්‍රකට කළ හැකි නිර්මාණ සිය (සමාජයේ) උපරිමයෙන් නිමවා දුන්නෝය.ජැක්සන් ද සිය පුද්ගල හැකියාව හා කැපවීමෙන් එකී නිර්මාණයන්ට සාධාරණය ඉටු කළෝය.මේ අපෝහක සම්බන්ධය පවත්වාගන්නට සමාජය සමත්වීනම්,යුග කාරක නළුවකු ලොවට දායාද කරන්නට තිබිණි.
එහෙත් 1989 දී සියල්ල විනාශ විය. 1994 දී සමාජය පසුබසින්නට ස්ථීරවම තීරණය කළේය.1994 න් ඇරඹි යුගය සමාජ පරාජයේ ප්‍රකාශන යුගය විය.ඒ 1977 න් ඇරඹී විනාශකාරී සමාජ දේශපාලන ආර්ථීක ප්‍රතිපත්තීන්හී ඵල නෙළන යුගය හෙයිනි. ඒවා පුද්ගල වැරදි නොව පුද්ගලත්වයට වඩා අති මහත් බලවත් සමාජ හේතූ විය.
සමාජය හා වන අපෝහක සුසංවාදයෙන් තමන්ට තව දුරටත් පැවැත්මක් නැති බව සමාජ සංවේදීයෙකු වූ ජැක්සන් වහා තේරූම් ගත්තේය. ඔහු ඒ සමාජය අතැර වඩා සුවපහසු පැවැත්මක් හා ක්‍රියාකාරකමක් තොරා ගත්තේය.දැන් ඔහුට කාටවත් වඟකීමක් නැත.කළින් සමාජය ඔහුගෙන් ඇඟ රිදෙන යමක් බලාපොරොත්තු වූවද දැන් එසේ නැත.
දැන් ඔහු ඔහුගේ මනෝ රාජධානීයේ අසම සම රජුය.ඔහුට ඒ රජ වරම දුන දෙවියන්වහන්සේට ප්‍රශස්තී ගැයීම ඔහුගේ නව පූජක රාජකාරියයි.
ඔහු පුද්ගලවශයෙන් මනෝලොවක රජෙකි.සමාජීය වශයෙන් ප්‍රකට පූජකයෙකි.මේ දෙබිඩි ජීවිතය ස්ථීරසාර මනෝ ව්‍යාධීයක් හෙයින් ඔහු කිසි දිනක යළී ප්‍රකෘති තත්වයට එළඹෙන්නේ නැති වීම පුද්ගල ඛේදවාචකයකි.
සියලු ගෞරවනීයත්වයන් වටා වූ බ්‍යාමප්‍රභා මණ්ඩල අහෝසී කොට ශුද්ධ වූ සියල්ල කෙලෙසා ,ගණ වූ සියල්ල ධනවාදය විසින් වාශ්ප කෙරේ යැයි මාක්ස් කීවේ මේ නිසාය.
යථාර්ථය මාක්ස්වාදී වීම ජැක්සන් ඇන්තනීගේ වරදක් නොවේ.

©ගාමිණී ඒකනායක

තිස්ස කාරියවසම් ගුරුතුමා

ශාස්ත්‍රගවේෂණය සිය නිරවශේෂ ජීවන ව්‍යායාමය කරගත් තිස්ස කාරියවසම් ගුරුතුමාණෝ කීර්තිශේෂ භාවෝපගත වූහ. එතුමාණෝ ලාංකීය ජන මූල සංස්කෘතිය පිළිබඳ විශේෂඥය. එහි අක් මුල් සොයා දහදිය කඳුළු වගුරුවා අත්කරගත් ඥාන සම්භාරය මතු පරම්පරා උදෙසා ලේඛනගත කිරීම සිය වගකීමත් යුතුකමත් ලෙස සැලකූ හ. එහිම නිශ්සරණාධ්‍යාසයෙන් ව්‍යාවෘතව උන් කල්හී ම භව හැර දැමූයේ නොවෙහෙසින් ම ය.
තිස්ස කාරීයවසම් ගුරුතුමාණෝ ශාස්ත්‍රයෙහි ලා අවංක ද අදීන වූද අවසන් හෝ අවසන් පරම්පරාවට පෙර පරම්පරාව වන්නේය.ඒ සමන් චන්ද්‍ර රණසිංහාදී එතුමාගේ ශිෂ්‍යන් සිටින හෙයිනි.

ශාස්ත්‍රයෙහි ලා අවංකකම අද අති දුර්ලභ ගුණාංගයකි. තිස්ස කාරියවසම් ගුරුතුමාණෝ කේෂත්‍ර රාශීයක පරප්‍රාප්ත වූවෝ, මේ අති දුර්ලභ ගුණය අරා දරා උන් හෙයිනි. ශාස්ත්‍ර සංක්ෂොහපයන්ගෙන්ද, දේශපාලන ආටා නාටකයන් ද මැදට නොපැන ඉන්නට විනයක් තිබූ වෘත්තිකයෙකි. ඒවා ශාස්ත්‍රාධයෙන් හෝ අනාගතවාදී පොදුජන ව්‍යායාම් නොවන බව දැක දැක බොර දියේ මාළු බාන්නාවුන්ගෙන් අප ගුරුතුමන් වෙනස් වූයේ එහෙයිනි.

රූපවාහිනී සංස්ථාවේ සභාපතිකම් ආදී තනතුරු දැරුවෝ, ඒවා තමන්ට නොව ශාස්ත්‍ර ගවේෂණයටත්,එකී ඥානය ජනගත කරන්නටත් උපකරණ කොට ගත්තේ නිර්භීත පියවර තබමිණි. ඒවා “නිර්භීත පියවර” වූයේ “ලාභ”  අරමුණු කරගත් “ජනප්‍රිය පියවර” නොවූ හෙයිනි.

ඔවුහු පවතින සමාජයේ ශික්ෂකයෙකි.එහේයින් එහි සකල ප්‍රතිවිරෝධතා ඔවුන් තුළින්ද ප්‍රතීයමානිතය.එහෙත් එතුමාණන්ගේ පුද්ගල පෞර්ෂයද ශාස්ත්‍රකාමීත්වයද එකී සමාජ හේතූ නැමති ගණ අඳුරේ ආලෝක පුළීඟු මෙන් අපරාජිතව දිලෙයි.සමාජ වික්ෂෝපයේ හොඳ නරක සම්මා සතියෙන් විඳි ,එතෙකුඳු මේ කළල් දියඹ බොර කර “නම හදා ගැනීමේ” මානව විරෝධී පිළීවෙතට කැප නොවන්නට සදාචාරයක් එතුමාණන්ට තිබිණි.අද බොහෝ වෘත්තිකයන්ට නැත්තේ මේ “සදාචාරයයි”. එනම් ස්ථාපිතයට ස්ථාපිතයේ අමානුෂීකත්වයෙන්ම පිළිතුරු දෙනවා විනා,ස්වයං විනයකින් තමන්ගේම උපක්‍රමවලින් හා මානවීයත්වයේ ඇඟයුම් සුරැක ප්‍රතිප්‍රහාර නොදීමයි.අන්තිමේදී, සියළු ප්‍රතිපක්ෂයන් කර ඇත්තේ එකම දෙයයි.එනම් විනාශයයි.එහෙත් උත්තම පුරුෂයෝ මේ මහා විනාශය මධ්‍යයේ ගොඩනැංවීම උදෙසා කැප වෙති. තිස්ස කාරියවසම් යනු එවැනි මහා පෞර්ෂයකි.

භාෂා වේදියෝ භාෂාව රැකීමට අවිය කරගත යුත්තේ භාෂාව හැර වෙන කුමක්ද? සන්නිවේදකයා සන්නිවේදනය හැර අන් සියල්ල කිරීමට යෑමේ ප්‍රතිඵලය හොඳ විය හැකිද?ගුරුවරයා සිය පරම වගකීම වූ  ඉගැන්වීම අතහැර වෙනත්කේෂත්‍රයන්හී තම ශ්‍රමය විනාශ කරන රටක අනාගතයක් කෙසේ විය හැකිද?සියළු කේෂත්‍රයන්ගේ අද ගැටළුව මෙයයි. එනම් සියළු දෙනා තම සමාජ වගකීම් කේෂත්‍රය අතහැර එක් හෝ තවත් විදිහකින් මැතිවරණ වේදිකා වලිගයන් ගේ ගැට ගැසී, තම නොහැකියාවන්.නොසැළකිලිකම්,කුසීතකම් තුඡ්චකම් වසා ගැනීමයි. වඩා හොදින් දීනකම් කරන්නා පමණක් වරකට ඉහල අතු අල්ලා ගන්නා අතර ඉතිරි අමන රැළ ම ඊළග මැතිවරණය දක්වා කණවැන්දුම් කියමින් පත්තර පිටු පුරවමින් කාලය ද රටේ ධනයද කා දමති.

තිස්ස කාරියවසම් මහදුරුතුමාණෝ මේ පිළිවෙතෙහි නොයෙදුනා පමණක් නොව පිළිකෙව් ද කළා ම ය.තම කේෂත්‍රයේ ඉහළම ඥාන ගවේෂණය හැර දමා ව්‍යාවෘත වන්නට රාජකාරියක් ඉතිහාසය විසින් තමන්ට පවරා නැතැයි නිර්ව්‍යාජව විශ්වාස කළ එතුමාණෝ එම පිළීවෙතෙහි අවසානය දක්වාම හිදින්නට තරම් එඩිතර  වූ ධීර පුරුෂයෙකි.

විශ්ව විද්‍යාලවලත්,අන්‍ය කේෂත්‍රයන්ගේත් බලපෑ හැකි පෞර්ෂයක්ව සිට, විශේෂයෙන්ම ගුරුවරයෙකු ලෙස, ‍තමන් තුළ වූ නිර්ව්‍යාජ ශාස්ත්‍රකාමීත්වය,ශාස්ත්‍රයාධ්‍යාශ්‍ය , ඥාය පටිපන්න භාවය, ස්ථවිර ගුණ සහිත ගෝල පරම්පරාවක් මතු කර නොගත්තේ මන්දැයි යමෙකුට විමසිය හැකි වැදගත් පැනයකි. කුමණ බෝසත් ගුණ දරා උන්නද මෙය එතුමාගේ යුතුකම වගකීම පැහැර හැරීමකැයි සිතිය හැකිය.එතෙකුදු, මේ තත්වයත් අද අප ජීවත් වන සමාජයේ අති සීග්‍ර බිදවැටීම පෙන්වන  කැඩපතක් බඳුය.”කළොත් ගුරු සේවේ - සුවඳ පත නළ සේ වේ”යි කී හෙයින්, මලේ සුවඳ තිබුණාට එය උරා ගෙන හැමීමේ ශිථිල ගුණැති මදනල වෙනුවට වේරම්භ වාතයන්ට මලත් විනාශකර ගසත් මුලත් උදුරා පැන යනවා හැර වෙන කළ හැකි යමක් නැත. තිස්ස කාරියවසම් නැමති ධීර පෞර්ෂයද මේ ඓ‍‍‍තිහාසික ව්‍යසනය ඉදිරියේ උපක්‍රමශීලී වූවා හු ම ය.

, සිය ශාස්ත්‍රඥානයේ පරතෙර පත් ව,තව සුවහස් කල් මානවීයත්වය ඔප්නංවන ආධ්‍යාශය ට එරෙහිව කරුණා විරහිත මරුවා පෙරට ආවේය. මහ බැංකු වාර්තානූකූල පරමායුෂ ගෙවා අවසන් බව දන්වා සිටියේය. සිය ජීවිත කාලයේ ම පරාජිත නො වූ උපේක්ෂා පෙරදැරිව ගුරුතුමාණෝ හිනැහෙන්නට ඇත.

මතු උපතක් වෙතොත්, එතුමාණෝ සිය ශාස්ත්‍රාධ්‍යාශය ‍විශ්වීය මට්ටමෙන් බබළවන්නට හැකි, සංස්කෘතික පරිණාමයක් සහිත රටක ඉපදේවා.!!!! එතුමා ගේ විශ්වාසය අනුව, බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා පරම ශාන්ත ප්‍රනීත යැයි වදාළ නිවන් සුව ම අත් වේවා!!!!

---ගාමිණී ඒකනායක

---- මම සඟ සරණ යමි---



අති පූජ්‍ය සද්ධර්මකීර්ති,අග්ග මහා පණ්ඩිත,උඩුගම ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිතාභිධාන අස්ගිරි පාර්ශ්වයේ මහානායක මාහිමි පානන් ගේ ශ්‍රී දේහය දකින කල්හී මට මහත් ආවේගයක් උපන. ඒ උන්වහන්සේ භව තණ්හාව අතැර ශ්‍රී නාමය ලක්දිව් නැබිඹර ළෙලවා කුණු කය කමටහන් පිණිස තබා ගිය හෙයින් නොවේ.එයින් උපනි නම් “මේ සා මහත් පුරුෂෝත්තමයෝ පවා අනිත්‍ය නම් ලෝක ධර්මතාවට යටත්ය” යන ධර්ම සංවේගයයි.

උන්වහන්සේ අපවත්වූවෝ, ඉමහත් යථ විශ්ඨෝට විප්‍රකාර කලි යුගයකය. ඉන් සමාජය ගලවනු තබා ශාසනයට ආවරණයක් සකසා ගන්නට ඇවැසි කතිකාවත සම්පාදනය කරන්නටවත් උන්වහන්සේට නොහැකි විය. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වැනි තිරශ්චීන විද්‍යා හිස් මුදුන් තබාගෙන බෞද්ධකමට ඉමහත් නිග්‍රහ කළ චීවරධාරීන්, පිටිදූවේ සිරිධම්ම, උඩුවේ ධම්මාලෝක,ගලගොඩ අත්තේ ඥානසාර වැනි භික්ෂු ප්‍රතිරූපකයන්, හා අසපු වාසී ධර්ම වෙළෙන්දන් ශාසනය වනසනු මහානායක හිමියෝ බලා ඉන්නට ඇත්තේ පිපිරුණු හදවතිනි.

1977 අති දැවැන්ත ආර්ථීක සුනාමියත්, තිස් වසරක් ඒ පසු පස ගාටමින් ආ සමාජ,දේශපාලන, ආගමික සංස්ථා කුණුව ඕජස් ගලන්නට පටන් ගත් 90 දශකයේ ය උන්වහන්සේ මහ පදවිය භාරගත්තේ. එමතු නොව සම්ප්‍රදාය පරිණාමය වෙනවා වෙනුවට විනාශ වී යාමට නියමිත බැවින් එය අයිස් කොට තබා රැක ගැනීමට වෙර දැරූ බැව් පෙනී යයි. එය කෙතරම් බලවත් වුවද සාධු ප්‍රාර්ථනා අරා දරා උන්නද පුද්ගල හැකියාව අති ප්‍රචණ්ඩාකාර සමාජ ක්‍රමය ඉදිරියේ අති දුර්වල බැව් යළීදු පසක් විය. පැවති තතු ඉදිරියේ කළු ගලේ හිස නොගසන්නට උන්වහන්සේ තීරණය කොට තිබූ සෙයකි.

එතෙකුදු තම පූර්වගාමීන් දුෂ්කර සමයන්හි දැන් වූ වික්‍රමාන්විතයන්  උන්වහන්සේ  නොදැක්වීයැයි කීමෙන් උන්වහන්සේට අංශුමාත්‍රයකුදු අගෞරවයක් නොවේවා.

මා සාමාන්‍ය පෙළ පංතියේ දහම් පාසල් ශීෂ්‍යකුව සිටියදී (1994 දී පමණ)  අප ගමේ පන්සලට ආගන්තුක හිමි නමක් වැඩියාහ. උන්වහන්සේ වයෝවෘද්ධය. කෙසඟ සිරුරු ඇත්තේය. වේව්ලන හඩැතිය. අල්ප භාෂීය. වරක් කුඩා සාමනේර නමක් උන්වහන්සේ ගේ රැවුල් කොණ්ඩා කපන්නේ, නුහුරු හුරුවෙන් හිස කැපී ගියේය. සාමනේර නම මහත් සංවේග පත්ව “රිදුනාද නායක හාමුදුරුවනේ” යි විමසූ කල්හී, ඒ ස්ථවීරයෝ දුන්නේ අපූරූ පිළීතුරකි
“ පුතේ ... රිදෙන්නේ මොකක්ද? රිදෙන්න කයක් කෝ... රූප යක් කෝ..වේඳනාවක් කෝ?..මේ සියල්ල සම්මුති මාත්‍රයක් විතරයි” ආරම්භ කොට පැය තුන හමාරක් තිස්සේ ,නිර්ලෝභීව,නිර්වෙහෙසව, ත්‍රිපිටකයේ අගින් මුලින් මැදින් උදාහරණ දක්වමින්, පුරාණ මතය, නවීන මතය ස්වකීය මතය පහදමින් තම හි‍ස කැපීම නිමිති කොට මහත් විස්මයාවහ ධර්ම දේශනාවක් පැවැත් වූ සේක.
උන් වහන්සේ කවර නාමධාරීදැයි අදටත් මම නොදනිමි. එතෙකුදු බුරුමයේ දී කළුවර කාමරවල වැටී ත්‍රිපිටකය වන පොත් කළ බවද ,ලේඛනයේ ප්‍රාමාණීක වන්නට තමන්වහන්සේට කිසිදා නොහැකි වූ බවද උන්වහන්සේ එදා මා සමග කීවේය. සටහන් ලිවීම නැමති අලස චර්යාව ආගම ඉගෙනීම හා දේශනාකිරීම වගකීම කරගත් භික්ෂූන්ට කිසිසේත්ම නොගැලපෙන බවත්, ධර්මය වනපොත් කිරීම හා මෙනෙහි කිරීමම  භික්ෂුන්ගේ ව්‍යක්තබවට,විශාරත්වයට, හා විනය ශික්ෂාව වැඩීමට අපූරූ ව්‍යායාමයක් බව,භාවනාවක් බව උන්වහන්සේ දේශනා කළා මතකය.
ඒ සා මහත් කොට භික්ෂුත්වය ඉසිලූ ඒ යති පරපුර වද වී ගොස් ඇත්තේය. අද ඒ ගමේ පන්සල ගේට්ටුවට CCTV කැමරා සවිකොට රකින , සීතල කරන ලද කාමර සහිත, ගමේ මිනිසුන්ගේ දානය බුදු පිළීමයට විතරක් තබා පන්සලේ උයා පිහාගෙන කන අසපුවකි.
ලංකාව යනු ගම් තිස් පන්දහසක් පමණී. නගර යනු තවමත් ලංකාවේ ව්‍යාතිරේඛයකි.ගමේ පන්සලත් ගමත් අතර සම්බන්ධය විනාශ වී ගිය පසු ගමේ ඉතිරිවන කිසිවක් නැත.හේතූව එවන් ආයතනයක් ව්‍යුහයක් පන්සල අතික්‍රමණය කරමින් බිහිව නැති නිසාය. එය ආගමික සංස්ථාවකට වඩා රටේ සමාජ සංස්කෘතික මෙහෙයුම් මධ්‍යස්ථානය විය. අසපු භීක්ෂූ ප්‍රතිරූපකයන් විසින් කළේ මෙයයි. ‍පුජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ ව්‍යායාමයේ අවරචකයන් අපගතයක් වන මෙයින් රටටත් ශාසනයටත් සිදු වූ හානිය අති මහති.

සිවුරක් නැතිව ,කැඳත් නැතිව ,පත පොත නැතිව ගමේ පන්සලේ හාමුදුරවෝ අපාදුක් විදිද්දී ලක්ෂ ගණනින් වියදම් කොට අසපු මහණුන් කැදවා මහා බණ සංදර්ශන පවත්වන්නට පුරුදු විය. පාංශකූලයට ගමේ හාමුදුරුවන් අවශ්‍ය බව මේ අසපු බෞද්ධයෝ අමතක කළහ.
තමන් අපරාධකාරී ලෙස ඉපැයූ කළු සල්ලී ශුද්ධ කරගැනීම සඳහා මේ අසපු යොදා ගන්නටද ඒවාට ප්‍රචාරයක් දෙන්නටද ව්‍යාපාරිකයන් හා කප්පමට පුරුදු වූ මාධ්‍යයන් ක්‍රියා කළද, ගමේ මිනිහා රැවටුනේ ඒ අලංකාරයට ම ය. එය ඔවුන්ගේ පෞද්ගලික දුෂ්චරිතය එළීයට ඒමක් මෙන්ම, සංඝ සංස්ථාව විසින් පැහැර හැරි වගකීමක් තමන්ට ම පාරා වළල්ලක් වීමක්ද වෙයි.
දැන් මෙය යළී හැරවිය නොහැකි ඉමකට ඇවිත් දොහො යි සිතේ. එතෙකුදු මේ විනාශකාරී සමාජ චලනය ට යම් නිවැරදි දිශානතියක යොමු කරන්නට පන්සලට කළ හැකි කාර්යය භාරයක් තව දුරටත් ඇත. ජාතිවාදී ආගම්වාදී උම්මත්කයන්ට හා අවස්ථාවාදී දේශපාලන ඉහඳ පණුවන්ට අසු නොවී කළ යුතු සමාජ කාර්යයක් ගමේ පන්සලට තිබේ.
සමාජයේ රටේ පවතින සකළවිධ ගැටළුවලට විනාශයන්ට හේතූව තම පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු නියෝජිතයන් දහ පහලොස් දෙනෙකු නැති වීමයයි යන අතිශය මනෝමූල අවස්ථාවාදී චින්තනයට ජනතා විමුක්ති පෙරමුණත් යට වූ පසු , ගැලවීමක් නැතැයි යන විනාශකාරී හැඟීමෙන් විකල්ව වියරුව යාමට නියමිත ලාංකීය සමාජය සුවපත්ව තබා ගැනීමට නොහැකි වූවහොත් ධර්ම ද්වීපය, සිංහල දීපය තබා කතා කරන්නට රටක්වත් රටේ මිනිහෙක්වත් ඉතිරි නොවනු ඇත.
ඉදින්, මහනායක මාහිමි පාණන්ට කළ හැකි විශාලතම ගෞරවය වනු ඇත්තේ, මේ රටේ මිනිසුන්ට තව කාලයක් මිනිසුන් ලෙස පවතින්නට හැකි ලෙස සමාජ චලනයන් කළමනාකරනය කිරීමය.ඊට අවශය කරුණා ප්‍රඥා ගුණැති මඟ පෙන්වන්නන් ලෙස භික්ෂු සංස්ථාව හැඩ ගැස්සවීමය. සමාජ මනස ප්‍රඥාවන්ත කිරීමය. සමාජ හදවත කරුණාවන්ත කිරීමය.දැනට විකල්පයක් නැත.

©ගාමිණී ඒකනායක

--කුල වාදයට එරෙහිව කුලවාදියෙකු වීම පිළිකෙව් කළ මනුෂ්‍යයා---



භාරත වර්ෂයේ අසම සම විශ්ව දායකත්වයන් අතර, භාරත මෑණීයන් විසින්ම සිය කුසෙහිම ජනිත කළා වූ මහා පුරුෂයන් අතර ආචාර්ය බී.ආර්.අම්බෙඩ්කාර් දෙවැනි වන්නේ ගෞතම බුදු රදුන්ට පමණී. ඒ ආචාර්ය අම්බෙඩ්කාර් ම පිළීගත් පරිදි,හෙතෙම බුදු කරුණාවෙන් හා ප්‍රඥාවේ මහිමයෙන් ආලෝකය වූ නිසාය.
භාරත වර්ෂයේ බොහෝ නූතන වීරයෝ බටහිර අධීරාජ්‍යවාදයේ සංකූලතාවන්හී ප්‍රතිඵලයෝ ය. ශ්‍රේෂ්ට මහත්මා,අසම සම නේතාජී,ප්‍රඥාවන්ත නේරූ, මහාමාන්‍ය තිලක්,ගුරු දේව තාගෝර් මාතෘ නායිදු යනාදී සකලවිධ චරිතයෝ ආක්‍රමණීක බටහිරයන්ට එරෙහි ව්‍යායාමයන්හී සඵලයෝ ය.
අම්බෙඩ්කාර් එයින් වෙනස්ව, සිය ජාතික ජාන ප්‍රතිවිරෝධතාව වූ කුල පීඩනයට එරෙහි අරගලය ජාතික නිදහස් අරගලය හා සමපාත කිරීමේ අති දුෂ්කර අනතුරුදායක ව්‍යායාමයේ සබුද්ධ ඵලයයි.
1891 අප්‍රෙල් 14 දින මධ්‍ය ම ඉන්දියාවේ උපත ලැබ 1965 දෙසැම්බර් 6 වැනිදා වයස අවුරුදු 65 දී ජීවිතය හළ මේ බෞද්ධයා නිදහස් ඉන්දියාවේ අධිකරණ ඇමතිවරයා පමණක් නොව,ලොව විශාලතම "ප්‍රජාතාන්තීක ජනරජ ව්‍යවස්ථාවේ" නිර්මාතෘද වෙයි.
අති සංකීර්ණ ප්‍රතිවිරෝධතා සහිත ඉන්දීය දේහය, අද දක්වා එහි ආධයාත්ම බලය රැකෙන්නට අම්බෙඩ්කර්ගේ ව්‍යවස්ථාව කෙතරම් පිටු බල වීදැයි දන්නෝ දනිති.
සමාජ හිතකාමී ධනේශ්වර ප්‍රතිශංස්කරණ සීමාව කවරේද,බෞද්ධ කමේ නූතන සමාජ  කර්තව්‍ය කවරේද හා පුද්ගල අභිලාශය හා දේශපාලන කැපවීම මානුෂීය ව්‍යායාමයක් වූ කළ ප්‍රතිඵල කවරේදැයි නිරීක්ෂණය කරන්නෙකුට භාරත රත්න ආචාර්ය භීම්රාවෝ රාම්ජී අම්බෙඩ්කර් ගේ අක්ලිෂ්ට, විශිෂ්ට චරිතාපදානය අත් පොතක්ම වන්නේය.

---ගාමිණී ඒකනායක

සමාජ ඔත්පලත්වයේ ප්‍රකාශනය - වෙද හාමිනේ

එක් බැළුමැසකින් සුවහස් හැඟුම් පොබකළ වත මිළින විය.
ලාංකීය ටෙලි නාට්‍ය වංශයේ ටෙලි නාට්‍යයි කියන වසුරු අතර මහරු මිණක් ඔප කළ ඈ වාසනාවන්තියකි.පළමු රූපවාහිනී සම්ප්‍රාප්තියම තමා “නිළියක“ බැව් ඔප්පු කරන වේඳිකාව කර ගන්නට මේ වාසනාවන්තිය පින්සාර වූවා ය. කූට ධනවාදී ප්‍රති සංස්කෘතික මානව විරොධී ජංජාලයේ පැටලෙන්නට මේ පින්වතියට බල කරනු ලැබ ඇගේ සුවිසෙස් වත මඬළ ද ප්‍රතිභා ආධ්‍යාත්මය ද දුෂ්‍ය කරනු ලැබිණ.එහෙයින් අප ගේ යුගයේ විශ්ව සළකුණක් වන්නට තිබූ පුද්ගල පින්කාරත්වය සමාජ පව්කාරත්වය නැමති කුණු කාණුවේ ගිලිණි.පුද්ගල ලැබීම නැමතී සුසුඳු දිය බිංදුව සමාජ නොලැබීම නැමති රළු කරදියේ සැඟවිණි.
වේවා !!! ඇය වරක් සමස්ත රසිකත්වයම සිය අනූන වාසනා ගුණයත් ප්‍රතිභාවත් එක් කොට ආළෝලනය කළා සැබවි.ඒ පින් බලෙන් මතු මේ කොදෙව්වේ බිහි වන කිසිඳු ප්‍රතිභාන්විත නිළියකට මේ ඉරණම අත් නොවේවා යි පතමු.
 එකුන් පනස් වියැති ජීවන ගීතයේ සමාජ තනුව යළි යළීත් ප්‍රකම්පිත කරමින්, ඈ වෙද හාමිනේ ලෙස යළී යළීත් පෙනී හිඳුණු නිසැකය.

© ගාමිණී ඒකනායක